EQUAL GROUND මානව හිමිකම්වලට තර්ජනයක් වන ශ්‍රී ලංකාවේ හදිසි නීති රෙගුලාසි හෙළා දකී

කොළඹ, අගෝස්තු 04 2022: ප්‍රමුඛ මානව හිමිකම් ක්‍රියාකාරීන් ඇතුළු සාමකාමී විරෝධතාකරුවන් ඉලක්ක කර ගනිමින් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම් මෙන්ම මානව හිමිකම්වලට තර්ජනයක් වන පරිදි ජූලි 27 වැනි දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද හදිසි නීති රෙගුලාසි EQUAL GROUND විසින් හෙළා දකී.

පසුගිය සති කිහිපය තුළ, ශ්‍රී ලංකීය පුරවැසියන්ට එරෙහිව දියත් කල රාජ්‍ය ප්‍රචණ්ඩත්වය සහ විවිධ කොන්දේසි යටතේ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සදහා ආරක්ෂක අංශ වෙත ලබා දී තිබූ පුළුල් බලතල පිළිබඳව EQUAL GROUND දැඩි විමසිල්ලෙන් පසුවේ.

විශේෂයෙන්, හදිසි නීති රෙගුලාසිවල 11 සහ 12 වගන්ති යටෙත්, දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365A වගන්ති ඇතුළත් කිරීම ගැන EQUAL GROUND සැලකිලිමත් වේ. සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති ලිංගික, අන්තර් ලිංගික සහ ක්වියර් (LGBTIQ) පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට සහ ඔවුන්ට හිරිහැර කිරීම සඳහා පොලිසිය සහ සන්නද්ධ හමුදාවන් දැනටමත් දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365A යන වගන්ති භාවිතා කරයි. හදිසි නීති රෙගුලාසි මගින් 365 සහ 365A යටතේ වරද කරුවකු ලෙස සැලකෙන හෝ සැක කරන ඕනෑම අයෙකු, වරෙන්තු නොමැතිව ප්‍රශ්න කිරීමට, සෙවීමට සහ රඳවා තබා ගැනීමට පොලිසියට සහ සන්නද්ධ හමුදාවන්ට බලය ලබාදී ඇත . 365 සහ 365Aවගන්ති,  12(1)(e) වගන්තියට ඇතුළත් කර ඇති අතර, එමගින්  ඉහත වගන්ති වලට යටත්ව වරදකරුවකු වුවහොත්, ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබිය හැකි වැරදි යටතට එය ලැයිස්තුගත කර ඇත.

“හදිසි රෙගුලාසි’ යටතේ LGBTIQ පුද්ගලයින් ඉලක්ක කිරීම, LGBTIQ ප්‍රජාව තව දුරටත් මැඩ පැවැත්වීමට හා ඔවුන්ගේ අයිතීන් උල්ලංඝනය කිරීමටත්, ‘රාජ්‍යයට හානිකර’ ලෙසින්  නම් කර ඔවුන්ට කැළලක් ඇති කිරීමටත් රජය විසින් ගනු ලැබූ උත්සාහයන් වන  අතර, මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටපත් කිරීමට රජය විසින් සිදු කරන ලද තවත් උපක්‍රමයක් පමණි. මෙමගින් LGBTIQ ප්‍රජාව; පොලිසිය, සන්නද්ධ හමුදාවන් සහ අනෙකුත් පුරවැසියන් සඳහා පහසු ඉලක්ක බවට පත්වෙයි” යැයි EQUAL GROUND හි විධායක අධ්‍යක්ෂ, Rosanna Flamer-Caldera පෙන්වා දුන්නාය.

හදිසි නීති රෙගුලාසි අති බහුතරයකින් සම්මත වූ අතර ඊට පක්‍ෂව මන්ත්‍රීවරුන් 120ක් ඡන්දය ප්‍රකාශ කළ අතර විරුද්ධව ඡන්ද ලැබී ඇත්තේ 63ක් පමණි.

පොදුවේ ගත් කල, හදිසි නීති රෙගුලාසි ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගත් මූලික අයිතිවාසිකම්වලට විශාල වශයෙන් පටහැනි ය.

ලෝකයම ශ්‍රී ලංකාව දෙස සමීපව නිරීක්‍ෂණය කරන මොහොතක, මේ ආකාරයෙන් මානව හිමිකම් මර්දනය කිරීම විදේශ ආධාර සඳහා කෙරෙන සාකච්ඡාවලට, විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ කෙරෙන සාකච්ඡාවලට ද දැඩි ලෙස බලපෑ හැකිය.

වසර ගණනාවක් පුරා, LGBTIQ අයිතිවාසිකම් ක්‍රියාකාරීන්, 365 සහ 365A වගන්ති අවලංගු කරන ලෙස නිරන්තරයෙන් ඉල්ලා සිටියේ, මෙවැනි තත්ත්වයන් ශ්‍රී ලංකාවේ LGBTIQ ප්‍රජාවගේ අයිතිවාසිකම්වලට තවදුරටත් බලපෑ හැකි බැවින් සහ එය ඔවුන්ගේ මූලික මානව අයිතිවාසිකම්වලට බාධාවක් වී ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙළීමට ඉඩ ඇති බැවිනි.

තවද, 365 සහ 365A යටතේ සම්මුතිවාදී, සමලිංගික සබඳතා සාපරාධීකරණය කිරීම, මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙස, එක්සත් ජාතීන්ගේ කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කොට සැලකීම් තුරන් කිරීමේ අන්තර්ජාතික සම්මුතිය (CEDAW) විසින් සුවිශේෂී තීරණයක් ලබා දී ඇත.

මෙම සන්දර්භය තුළ දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365A වගන්ති වහා අවලංගු කරන ලෙස EQUAL GROUND ඉල්ලා සිටින අතර  සියලුම පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් ඉල්ලා සිටී.

ප්‍රතිචාරයක් ලබාදෙන්න