අපේ සේවය පැතිරුණු තැන්


2004 ආරම්භයේ සිට, EQUAL GROUND දිවයිනේ පළාත් 9 ම ආවරණය වන පරිදි අකුරැස්ස, අනුරාධපුර, අම්පාර, අට්ටාලච්චේන, අරණායක, අවිස්සාවේල්ල, අබ්මලන්ගොඩ, අම්බලන්තොට, හඟුරන්කෙත, අක්කරේපත්තුව, බද්දේගම, මඩකලපුව, බලංගොඩ, බෙන්තොට, බේරුවල, බණ්ඩාරගම, බගවන්තලාව, බුත්තල, බදුල්ල, බිබිල, බලපිටිය, කොළඹ, හලාවත, චුන්නාකම්, චාවාගච්චේරි, දඹුල්ල, දඩැල්ල, ඊචලම්පතු, ඇල්පිටිය, ඇහැලියගොඩ, ඇල්ල, එරාවුර්, ගාල්ල, ගිරිඋල්ල, ගලේවෙල, ගල්ගමුව, ගිනිගත්හේන, ගම්පහ, ගිරිතලේ, ගම්පොල, ගලහිටියාව, හැටන්, හබරණ, හික්කඩුව, හිඟුරන්ගොඩ, හම්බන්තොට, හබරණ, හොරොව්පොතාන, හොරණ, හක්මන, ඉබ්බාගුමුව, ජා-ඇල, යාපනය, කළුතර, කඹුරුපිටිය, කොත්මලේ, කළුකැලේ, කන්තලේ, කාත්තන්කුඩි, කල්ලඩි, කැබිතිගොල්ලෑව, කැලණිය, කෑගල්ල, මහනුවර, කුරුවිට, කිලිවට්ටි, කතරගම, කටුනායක, කිරින්ද, කැලණිය, කරවනැල්ල, කෝට්ටගල, කොග්ගල, කාරතිව්, කල්පිටිය, කැපටිගොල්ලොව, කිරිබත්ගොඩ, කඩවත, කිරිඳිවැල, කහටගස්දිගිලිය, කිලිනොච්චිය, කල්මුණේ, කරවනැල්ල, කුරුණෑගල, කන්කසන්තුරේ, ලින්කේපුරම්, මහඔය, මහියංගනය, මාතලේ, මතුගම, මාතර, මීපිරිමාන, මොනරාගල, මොරටුව, මැදවච්චිය, මාවනැල්ල, මුන්දලම, මස්කෙළිය, මූතූර්, මොරගහවැව, මිහින්තලේ, මුලතිව්, මන්නාරම, මහව, ගල්කිස්ස, මරදන්කඩවල, මන්නම්පිටිය, මීගමුව, නුවරඑළිය, නිකවැරටිය, නාවලපිටිය, ඔඩ්ඩමාවඩි, පානදුර, පිළියන්දල, පිදුරුතලාගල, පුත්තලම, පේරාදෙණිය, පොළොන්නරුව, පස්සර, පේදුරුතුඩුව, පැල්මඩුල්ල, පොතුවිල්, පලාවි, රඹුක්කන, රත්නපුර, රක්වාන, රාගම, සියඹලාණ්ඩුව, සීගිරිය, සම්මන්තුරේ, සර්තපුරම්, තංගල්ල, තිහගොඩ, තලවාකැලේ, තවලන්තැන්න, තිස්සමහාරාම, තණමල්විල, ත්‍රිකුණාමලය, තිරුකෝවිල්, උප්පුවෙල්ලි, විජිතපුර, වනාතවිල්ලු, වාලච්චේන, වවුනියාව, වේයන්ගොඩ, වැල්ලවාය, වැලිගම, වටවල, වාද්දුව, වත්තේගම, වල්ගම, වරකාපොල සහ යාල ඇතුළු නගර සහ ගම්මාන 154 කට අධික සංඛ්‍යාවක LGBTIQ ප්‍රජාවේ සාමාජිකයින්, LGBTIQ ප්‍රජාවේ පවුලේ අය සහ මිතුරන්, ශ්‍රී ලංකා පොලිසිය, මිත්‍ර පාක්ෂිකයින්, දේශපාලනඥයන් සහ පළාත් පාලන ආයතනවල සාමාජිකයින් සංවේදී කිරීමට සහ දැනුවත් කිරීමට කටයුතු කර ඇත.

කොළඹ අභිමානය සැමරුම්


EQUAL GROUND විසින් 2005 වසරේ සිට ශ්‍රී ලංකා LGBTIQ දින දර්ශනයේ වැදගත් උත්සවයක් වන වාර්ෂික අභිමානයේ (PRIDE) සැමරුම් පවත්වා ඇත. වසර ගණනාවක් පුරාවට අභිමානයේ සැමරුම් වඩා ශක්තිමත්ව වර්ධනය වී ඇත. 2024 දී, අපි අපගේ 20 වැනි කොළඹ අභිමානයේ සැමරුම (Colombo PRIDE) සැමරුවෙමු - එය සැබවින්ම වැදගත් අවස්ථාවක් විය. ජූනි මාසයේ පැවැත්වෙන මෙම අභිමානයේ මාසය සැමරුම, ක්වියර් ප්‍රජාවට සහ ප්‍රජාවේ මිතුරන්ට සාඩම්බරයෙන් පිටතට පැමිණීම දිරිගැන්වීම සඳහා පවත්වනු ලබන විවිධ වැඩසටහන් මාලාවකින් සමන්විත ය. එය විවිධත්වයේ පණිවිඩය වඩාත් පරිපූර්ණ මාර්ගයකින් ආමන්ත්‍රණය කරමින්, බහුතර ශ්‍රී ලාංකික පුරවැසියන් තුළ ක්වියර් (Queer) ප්‍රජාව පිළිබඳව වඩා හොඳ අවබෝධයක් සහ පිළිගැනීමක් ඇති කරන අධ්‍යාපනික සහ සංවේදිකරණ වැඩසටහනක් වේ. කොළඹ අභිමානයේ සැමරුම් සඳහා: අභිමානී ක්වියර් චිත්‍රපට උළෙල (දකුණු ආසියාවේ පළමු සහ පැරණිතම ක්වියර් චිත්‍රපට උළෙල), දේදුනු සරුංගල් සැණෙකෙළිය, දේදුනු සාදය, දේදුනු කලා හා ඡායාරූප ප්‍රදර්ශනය, සහ දේදුනු සංගීත සහ නැටුම් ප්‍රසංගය ඇතුළත් වේ. වසර ගණනාවක් පුරාවට අභිමානයේ සැමරුම් සඳහා වැඩමුළු, නාට්‍ය/සංදර්ශන/සංගීතමය නාට්‍ය ද ඇතුළත් වූ අතර, 2023 දී පළමු කොළඹ අභිමානයේ පාගමන සහ ආහාර උළෙල ද ඇතුළත් විය. 2024 දී, කොළඹ අභිමානයේ සැමරුම් හි 20 වැනි සංවත්සරය වෙනුවෙන්, අප අභිමානි ක්වියර් චිත්‍රපට උළෙල, දේදුනු චිත්‍ර සහ ඡායාරූප ප්‍රදර්ශනය, දේදුනු සංගීත සහ නැටුම් ප්‍රසංගය සහ දේදුනු ආහාර සැණකෙළිය යනාදියට නව මුහුණුවරක් දෙමින්, එක වහලක් යට දින 3ක් පුරාවට පැවති අභිමානයේ සැණකෙළිය (PRIDE carnival) සංවිධානය කළෙමු. මෙම සැණකෙළියට විවෘත වේදිකාවේ තරඟ, පෝස්ටර් සහ ඡායාරූප තරඟ සහ සන් ඩවුන් ඩිස්කෝ (Sundown Disco) ද ඇතුළත් විය. දේදුනු බස් සවාරිය, දේදුනු සරුංගල් සැණකෙළිය සහ දේදුනු සාදය, 2024 අභිමානයේ සැමරුම් හි නිමාව සනිටුහන් කරන ලදී. 2024 වර්ෂය EQUAL GROUND සහ කොළඹ අභිමානය සඳහා වැදගත් වසරක් විය.

උපදේශනය


LGBTIQ පුද්ගලයන් සඳහා අපගේ උපදේශන සේවාව 2005 වසරේ දී ආරම්භ කරන ලදී. මේ වන විට භාෂා 3 කින් (ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ) උපකාරක සේවාවන් ක්‍රියාත්මක වේ. අපගේ උපදේශන කාර් ය මණ්ඩලය විසින් මෙම සේවාව පවත්වාගෙන යනු ලබන අතර, සමරිසි/ද්විරිසි කාන්තාවන් සඳහා වෙන්වූ සහ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් සඳහා

වෙන්වූ දුරකථන මාර්ග ද්විත්වයක් ක්‍රියාත්මක වේ.  

Facebook හි අපගේ උපදේශන පිටුව හරහා සහ Facebook හා Instagram හි අපගේ සමාජ ජාල ගිණුම් හරහා ද මාර්ගගත උපදේශන සේවා සපයන්නෙමු.

ආරක්ෂිත අවකාශ


EQUAL GROUND කොළඹ කාර්යාලය LGBTIQ ප්‍රජාව සඳහා ආරක්ෂණ පියසක් ලෙස ක්‍රියා කරන අතර එය වැඩමුළු, චිත්‍රපට දර්ශන, විරුද්ධ ලිංගික ඇඳුම් ඇඳීමේ සන්ධ්‍යා සාදයන්, තේමාවන් මත පදනම් වූ රාත්‍රී සාදයන් වැනි බාහිර ක්‍රියාකාරකම් සඳහා යොදා ගැනේ.

ප‍්‍රකාශන (ත්‍රෛභාෂික)


අධ්‍යාපනික මූලාශ‍්‍ර හා පර්යේෂණ ප‍්‍රකාශයට පත් කිරීම අපගේ මෙහෙයුම්වල හා උපදේශනයේ අනිවාර්ය අංගයකි. කරුණාකර අපගේ නවතම ප‍්‍රකාශන සඳහා ‘සම්පත් / ලේඛන’ පිටුව බලන්න.

අනුස්මරණ උත්සව


  • අන්තර්ජාතික කාන්තා දිනය 
  • සමරිසි භීතිකාව, ද්විරිසි භීතිකාව සහ සංක්‍රාන්ති සමාජභාවී භීතිකාවට එරෙහි ජාත්‍යන්තර දිනය (IDAHOBIT)
  • සංක්‍රාන්ති සමාජභාවී පුද්ගල අනුස්මරණ දිනය 
  • සංක‍්‍රාන්ති සමාජභාවී දෘශ්‍යතා දිනය
  • සමරිසි කාන්තා දෘශ්‍යතා දිනය
  • කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය
  • දින 16 ක‍්‍රියාකාරී සැලැස්ම
  • ලෝක ඒඩ්ස් දිනය
  • මානව හිමිකම් දිනය

ඉහත දිනයන් සැමරීම සඳහා ප‍්‍රචාරණ ව්‍යාපාර, වැඩසටහන්, පෝස්ටර්/ස්ටිකර් ව්‍යාපාර සහ සාකච්ඡා සංසද පවත්වනු ලැබේ.

ශ්‍රී ලංකාවේ ආයතන සම්බන්ධ කර ගැනීම (විවිධත්වය, සමානාත්මතාවය සහ සේවා ස්ථානයේ ඇතුළත් කිරීම සංවේදීකරණය කිරීම)

LGBTIQ ප්‍රජාව පිළිගැනීම ප්‍රවර්ධනය කිරීම සඳහා මෙරට ආයතන වලට ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ හැක. මෙහිදී සේවා ස්ථානයේ විවිධත්වය සහ LGBTIQ ශ්‍රම බලකායට අදාළ ගැටළු සාකච්ඡා කිරීම, LGBTIQ පුද්ගලයින් සහ ඔවුන් සෑම දිනකම මුහුණ දෙන අපකීර්තිය සහ වෙනස්කොට සැලකීම් පිළිබඳව ආයතනික ප්‍රජාව දැනුවත් කිරීම ද සිදුවේ. මෙම​ වැඩසටහන් වලට LGBTIQ යන කෙටි යෙදුම හැඳින්වීම, සර්වනාම නිසි ලෙස භාවිතා කිරීම, ශ්‍රී ලංකාවේ LGBTIQ පුද්ගලයන්ට බලපාන නීති සහ ඒවායේ ඇඟවුම් යනාදිය ඇතුළත් වේ.

 John Keells Holdings සහ Sapphirus Lanka සමඟ අපගේ සාර්ථකත්වය මෙහිදී වැඩිදුර සඳහන් කළ හැකි අතර දිවයින පුරා සිටින බොහෝ සමාගම්වල කාර්ය මණ්ඩල සාමාජිකයින් 50,000 කට අධික සංඛ්‍යාවක් මේ වන විට සංවේදීකරණයට ලක් වී ඇති අතර මෙම සමාගම් බොහොමයක් සේවා ස්ථානය LGBTIQ පුද්ගලයන් සඳහා ආරක්‍ෂාව, වඩාත් මිත්‍රශීලී, අවබෝධය සහ ඇතුළත් වටපිටාවක් බවට පත් කිරීමට ඔවුන්ගේ ප්‍රතිපත්ති වෙනස් කර ඇත.සමස්තයක් වශයෙන්, 2023 නොවැම්බර් වන විට, EQUAL GROUND විසින් සමාගම් 50 කට වඩා සංවේදීකරණයට ලක් කර ඇති අතර, සෑම වසරකම මෙම සංඛ්‍යාව ඉහළ යමින් පවතී.

මාධ්‍ය සංවේදීකරණ වැඩසටහන්


සමානාත්මතාවය සඳහා වන අපගේ අඛණ්ඩ ප‍්‍රයත්නය වෙත මාධ්‍යවල සහාය ලබා ගැනීම සඳහා, 2015 දී EQUAL GROUND සංවිධානය මෙරට මාධ්‍ය ආයතන වෙත සංවේදීකරණ වැඩමුළු ගණනාවක් සම්බන්ධීකරණය කිරීම සඳහා ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනය සමඟ සමීපව කටයුතු කළේය. එතැන් පටන් LGBTIQ පුද්ගලයින් සහ සමස්ත ප‍්‍රජාව සම්බන්ධව යෝග්‍ය, සංවේදීකෘත හා සත්‍යවාදී ආකාරයට වාර්තාකරණයේ යෙදීම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා EQUAL GROUND විසින් වාර්ෂික ​වැඩමුළු කිහිපයක් පවත්වා ඇති අතර එය අඛණ්ඩව කරගෙන යනු ඇත. පසුගිය වසර ගණනාව පුරා කැපී පෙනෙන දියුණුවක් සිදු වී ඇති අතර, පෙර පැවති සමරිසි භීතිකාව සහිත වූ හා අසංවේදී පුවත් වාර්තාකරණයට වෙනුවට වඩාත් සාධාරණ සහ ගෞරවනීය වාර්තාකරණයක් සමඟින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් සහ මුද්‍රිත මාධ්‍ය ආයතන තුළ බොහෝ වෙනස්කම් සිදුවී ඇත.

ග‍්‍රාමීය ප‍්‍රජා පාදක සංවිධාන, LGBTIQ ආධාරක කණ්ඩායම් සහ තනි පුද්ගල LGBTIQ ක‍්‍රියාකාරීන්ගේ තාක්ෂණික හැකියාව වැඩි දියුණු කිරීම


EQUAL GROUND තමා සමඟ වැඩ කරන බොහෝ කණ්ඩායම් සහ පුද්ගලයින්ගේ හැකියාවන් වැඩි දියුණු කරයි. මෙයට ග‍්‍රාමීය ප‍්‍රදේශවල ප‍්‍රජා පාදක සංවිධාන, LGBTIQ ආධාරක කණ්ඩායම් සහ පුද්ගලයින් සහ අනෙකුත් කුඩා ග‍්‍රාමීය රාජ්‍ය නොවන සංවිධාන ඇතුළත් වේ. ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය හා පුරුෂාධිපත්‍යය, ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය, ලිංගිකත්වය, මානව හිමිකම්, HIV / ඒඞ්ස් වැළැක්වීමේ ක‍්‍රමවේදයන්, ලිංගික හා ප‍්‍රජනක සෞඛ්‍යය, උපදේශනය, ව්‍යාපෘති කළමනාකරණය යනාදිය මෙම පුහුණුවලට ඇතුළත් වේ. ඊට අමතරව, කලාපීය සමරිසි කාන්තා සහ ද්විරිසි කාන්තා සංවිධාන සහ පුද්ගලයින්ගේ ධාරිතාවය ඉහළ නැංවීමට EQUAL GROUND විසින් ආරක්ෂාව සහ ආයතනික කළමනාකරණය, උපදේශක කටයුතු, ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය සහ නායකත්වය, සමරිසි හිංසනය සහ වෛරී අපරාධ සහ පර්යේෂණ ක‍්‍රමවේදයන් සඳහා යෝග්‍යකාර්තා මූලධර්ම (Yogyakarta Principles) උපයෝගී කර ගැනීම යනාදී විවිධ විෂයයන් පිළිබඳ පුහුණු සැසි ද පවත්වා ඇත.

වාර්තාමය​ චිත්‍රපට, චිත්‍රපට සහ DVD තැටි

EQUAL GROUND විසින් “PRIDE 2006”, “Heaven’s Trauma​” (2006 සුනාමිය), “Repeal Section 365ආ” (2011) වැනි උපදේශන වාර්තා චිත‍්‍රපට කිහිපයක් නිෂ්පාදනය කර ඇත. ඊට අමතරව, “I Have a dream” (2008), “Rainbow Runway” (2010), “The Auntie Netta show” (2011), Rainbow Runway (2013), සහ Invisible Stain (2015) වැනි දීර්ඝ වාර්තා චිත‍්‍රපටද අප සිනමා සමාහරයේ වේ. ඊට අමතරව ”අභිමානය හැර අන් කිසිවක් නැත” (Nothing but Pride) යන මාතෘකාව යටතේ 2015 දී කොළඹ අභිමානය උළෙල සඳහා සංගීත වීඩියෝවක් EQUAL GROUND විසින් නිෂ්පාදනය කළ අතර එය දේශීය මෙන්ම විදේශීය ප්‍රේක්ෂකයන්ගේ ද අතිමහත් ආදරයට පාත‍්‍ර වූවකි. 

2021 දී "Live with Love" සමාජ ජාලා ව්‍යාපාරයට සමගාමීව, EQUAL GROUND විසින් එය දියත් කිරීම සඳහා "ආදරෙන් ඉමු" නමින් තේමා ගීත වීඩියෝවක් නිෂ්පාදනය කළේය.  මෙම ව්‍යාපාරය වෙනුවෙන් “ඔවුන්ගේ ගමනට සහාය දක්වමු” (සිංහල), “මාව දකින්න” (ඉංග්‍රීසි), “ගැලපීම” (සිංහල), “අරගලය” (සිංහල) සහ  “අපව බේරා ගන්නේ කවුද” (දෙමළ) යන LGBTIQ පුද්ගලයින් සහ ඔවුන්ගේ ජීවිත, ආදරය සහ ගැටළු නිරූපණය කරන කෙටි චිත්‍රපට 5 නිෂ්පාදනය කරන ලදී.  EQUAL GROUND විසින් දෘශ්‍ය උපදේශනය හරහා සංවේදීකරණය ගෙන ඒම කෙරෙහි අවධානය යොමුකරමින් එහි වීඩියෝ සමාහාරය පුළුල් කරනු ලබයි. 

2024 දී, EQUAL GROUND සහ කොළඹ අභිමානය යන දෙකෙහිම 20 වැනි සංවත්සරය වෙනුවෙන්, EQUAL GROUND විසින් LGBTIQ ප්‍රජාව සහ අපගේ ආදරණීය මිතුරන් සමඟ ආ ගමනේ විශේෂිත වූ සන්ධිස්ථානයන් හි සැමරුම් සටහන් කරන මතක සැමරුම් වීඩියෝ දෙකක් නිර්මාණය කරන ලදි. 20 වැනි සංවත්සර සැමරුම් වීඩියෝව විසි වසරක් පුරාවට අප හා නොසැලී සිටින සහාය දක්වන්නන් සමග ගත කළ අමතක නොවන මතකයන් පිළිබඳ අතීතාවර්ජනයක් වන අතර, Colombo PRIDE 2024 - Wrapped! වීඩියෝව PRIDE මාසය පුරා EQUAL GROUND විසින් පවත්වනු ලැබූ විචිත්‍රවත් සැමරුම් පිළිබඳව ආපසු හැරී බලයි. මෙම වීඩියෝ එක්ව, දශක දෙකක ප්‍රගතිය සහ අභිමානය සනිටුහන් කරමින් සතුට, සහයෝගීතාවය සහ ආවර්ජනය පිළිබඳ සිත් ඇදගන්නා කතාවක් ගොතා ඇත.

යෞවන ජාලය


EQUAL GROUND යෞවන ජාලය ශ‍්‍රී ලංකාවේ තාරුණ්‍යය සමඟ, විශේෂයෙන් මානව හිමිකම් කෙරෙහි අවධානය යොමු කරන අය සමඟ, ජාලගත කිරීම සහ LGBTIQ තරුණ තරුණියන්ගේ ගැටළු වෙත ප‍්‍රධාන ධාරාවේ අවධානය යොමු කිරීම අරමුණු කර ගෙන ඇත.

සංක‍්‍රාන්ති සමාජභාවී ව්‍යාපෘතිය


2012 දී ක‍්‍රියාත්මක කළ සංක‍්‍රාන්ති සමාජභාවී ව්‍යාපෘතියට ක්ෂේත‍්‍ර චාරිකා, සමාජ රැස්වීම්, HIV සහ ලිංගාශ‍්‍රිත රෝග වැඩමුළු, ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය හා ලිංගිකත්වය පිළිබඳ වැඩමුළු, සංක‍්‍රාන්ති සමාජභාවී ලිංගික සම්බන්ධතා, SRS සහ සෞඛ්‍යය පිළිබඳ අවධානය යොමු කළ සාකච්ඡා සහ සංක‍්‍රාන්ති සමාජභාවී ජාලය යනාදිය ඇතුළත් වේ. ඒ සියල්ලම සංක‍්‍රාන්ති සමාජභාවීන්ගේ ජීවිත වැඩිදියුණු කිරීම අරමුණු කර ගෙන ඇත. මේ හරහා සංක‍්‍රාන්ති සමාජභාවීන්ට ම විශේෂිත උපදේශන සේවාවක් ද ස්ථාපිත කර ඇත.

සමරිසි සහ ද්විරිසි කාන්තා ශිෂ්‍යත්ව


2013 සිට EQUAL GROUND විසින් අඩු වරප‍්‍රසාදිත සමරිසි කාන්තා සහ ද්විරිසි කාන්තාවන්ට ශිෂ්‍යත්ව ලබා දී ඇත. මැහුම් ගෙතුම්, හඳුන්කූරු සෑදීම, රූපලාවණ්‍ය කටයුතු, ඡායාරූපකරණය සහ ඉවුම් පිහුම් වැනි විවිධ ක්‍ෂේත‍්‍රයන්හි නියැලෙන අනුරාධපුර, පුත්තලම, නුවර එළිය, ගාල්ල සහ කොළඹ යන ප‍්‍රදේශවල කාන්තාවන් 25 දෙනෙකු මෙම වැඩසටහනෙන් ප‍්‍රතිලාභ ලබා ඇත. 

LGBTIQ අයගේ පවුල් සහ මිතුරන්


LGBTIQ හි පවුලේ අය සහ මිතුරන් වෙනුවෙන් FFLGBTIQ නමින් LGBTIQ ප‍්‍රජාවේ පවුලේ අයට සහ මිතුරන්ට අදාළ ගැටළු සාකච්ඡා කිරීමට සහ එකිනෙකාට සහයෝගය දැක්විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට වැඩසටහනක් ක‍්‍රියාත්මක කරන ලදී. මෙම ක‍්‍රියාකාරීත්වය තුළින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ අයිතීන් රැක ගැනීම සඳහා නඩු පැවරීම දිරිගැන්වීම සහ LGBTIQ පුද්ගලයින්ට වෙනස් කොට සලකන නීති අහෝසි කිරීම සහ LGBTIQ අයිතිවාසිකම් තවදුරටත් ඉදිරියට ගෙන යාමට දායක වන ශක්තිමත් ජාලයක් ගොඩනැගීම අපේක්ෂා කෙරිණි. PRIDE සැමරුම් වලදී සංසද කිහිපයක් ආරම්භ කර ඇති අතර ඉන් ශක්තිමත් පදනමක් ස්ථාපිතව පවතී.

වෙබ් අඩවිය සහ සමාජ ජාල


EQUAL GROUND වෙත මෙම වෙබ් අඩවිය (ත්‍රිභාෂා), EQUAL GROUND බ්ලොග් අඩවිය සහ ෆේස්බුක්, ට්විටර්, යූටියුබ් සහ ඉන්ස්ටග‍්‍රෑම් ගිණුම් හරහා ප‍්‍රවේශ විය හැකිය.

ඊට අමතරව, EQUAL GROUND විසින් Facebook, Twitter, Instagram සහ Tribel මත සිය සංකේතාත්මක උපදේශන ව්‍යාපාරය වන “Live with Love” ක්‍රියාත්මක කරයි.

ජාත්‍යන්තරයේ අපේ හ​ඬ

අපගේ උපදේශන කටයුතු ගෝලීය හා ජාතික යන දෙඅංශයෙන්ම වේ. එක්සත් ජාතීන්ගේ මට්ටමින්, අපි 2008 සිට UPR, CEDAW, ICCPR, CRC, ICESCR වෙත නිරන්තරයෙන් වාර්තා ඉදිරිපත් කර ඇත්තෙමු. 

2004 සිට 2014 දක්වා අන්තර්ජාතික සමරිසි කාන්තා, සමරිසි පුරුෂ, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවී සහ ඉන්ටසෙක්ස් සංගමයේ (ILGA) විධායක මණ්ඩලයේ කලාපීය නියෝජිත, සහ සම ලේකම් තනතුරු යටතේ EQUAL GROUND සහ ශ්‍රී ලංකාව නියෝජනය කෙරිණි.

EQUAL GROUND යනු පොදුරාජ්‍ය මණ්ඩලීය සමානාත්මතා ජාලයේ [The Commonwealth Equality Network (TCEN)] ආරම්භක සාමාජිකයෙකු වන අතර අපගේ විධායක අධ්‍යක්‍ෂකවරිය මෙම සංවිධානයේ පළමු සභාපති ධුරය දැරීය (2015-2020). පොදුරාජ්‍ය මණ්ඩලීය සමානාත්මතා ජාලය යනු ලිංගික දිශානතිය සහ ස්ත්‍රී පුරුෂ සමජභාව අනන්‍යතාවය මත පදනම්ව පොදුරාජ්‍ය මණ්ඩලයේ රටවල් තුල පවතින අසමානතාවයට අභියෝග කිරීමට කටයුතු කරන පොදුරාජ්‍ය මණ්ඩලීය සිවිල් සමාජ සංවිධාන ජාලයකි. පොදුරාජ්‍ය මණ්ඩලීය LGBT ප්‍රජාවන්ට හඬක් ලබා දීමේ අරමුණින් සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ගැටලුවලට විසඳුමක් සොයා ගැනීම සඳහා උපදෙස් ලබා දීමේ අරමුණින් මෙම ජාලය පිහිටුවන ලදී. TCEN යනු පොදුරාජ්‍ය මණ්ඩලය තුළ ඇති පිළිගත් LGBT ජාලය/සංවිධානයයි.

EQUAL GROUND දකුණු ආසියාවේ RFSU/SIDA LGBT ජාලය පිහිටුවීමේ වැදගත් කොටස්කරුවෙකි. මෙම ජාලය සමරිසි ස්ත්‍රී/පුරුෂ, ද්වීරිසි, සහ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින්ගේ අයිතිවාසිකම් සහ සෞඛ්‍ය (HIV ඇතුළුව) වැඩි දියුණු කිරීම වෙනුවෙන් වැඩ කරන බංගලාදේශය, පාකිස්තානය, ඉන්දියාව, නේපාලය සහ ශ්‍රී ලංකාව යන රටවල ආයතන සහ ක්‍රියාකාරීන්ගේ සහයෝගතා ජාලයකි.

විපර්යාසය වෙනුවෙන් නව්‍යකරණය (Innovation for Change - I4C) ජාලය සඳහා දකුණු ආසියානු කේන්ද්‍ර​ය EQUAL GROUND විය. එය සිවිල් අවකාශය ආරක්‍ෂා කිරීමට, සහ සමූහ ගත වීමේ, ඇසුරු කිරීමේ සහ කතා කිරීමේ මූලික නිදහසට ඇති සීමාවන් මඟහරවා ගැනීම සඳහා එක්ව වැඩ කරන පුද්ගලයින්ගේ සහ සංවිධානවල ගෝලීය ජාලයකි.

EQUAL GROUND විසින් SAHARA Sri Lanka හි දේශීය නියෝජිත සඳහා සත්කාරකත්වය ද සපයනු ලැබීය. SAHARA (ලිංගිකත්වය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවී අනන්‍යතාවය/ ප්‍රකාශනය හේතුවෙන් අගතියට පත්වී සිටින පුද්ගලයින්ගේ දකුණු ආසියානු මානව හිමිකම් සංගමය) මගින් දකුණු ආසියානු කලාපයේ ලිංගිකත්වය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවයට එරෙහි මානව හිමිකම් උල්ලංඝනයන් ක්‍රමානුකූලව ලේඛනගත කිරීම, ඒවාට ප්‍රතිචාර දැක්වීම සහ මානව හිමිකම් පිළිගැනීම, ආරක්‍ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සිදු කෙරේ.

EQUAL GROUND චිකාගෝ හි හාට්ලන්ඩ් එලායන්ස් (Heartland Alliance) හි අනුග්‍රහය යටතේ දිවෙන ගෝලීය සමානාත්මතා ජාලයේ (Global Equality Network) ද සාමාජිකයෙකි.

දේශීය යාන්ත‍්‍රණ සමඟ සම්බන්ධ වීම


2016 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංසකරණ ක්‍රියාවලියට දායක වීමෙන් LGBTIQ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නන් ලෙස EQUAL GROUND සිය කාර්යභාරය ඉටු කළ අතර දිස්ත්‍රික්ක 9 ක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන නියෝජන කමිටුව ඉදිරිපත් කිරීම්වල ඉදිරියෙන් සිටියේය. අප සංවිධානය මූලික අයිතිවාසිකම් පිළිබඳ පාර්ලිමේන්තු උප කමිටුව (2017) හමුවී ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට LGBTIQ අයිතිවාසිකම් ඇතුළත් කිරීම සඳහා බලපෑම් කරන අතරම, වෙනස්කොට නොසැලකීමේ ප්‍රතිපත්ති සහ අපරාධයක් ලෙස LGBTIQ අනන්‍යතාව අර්ථකතනය නොකිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන්නේ ය. ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයන් සඳහා වූ විශේෂ කාර්ය සාධක බලකාය වෙත යෝජනා ඉදිරිපත් කිරීම් සිදු කරන ලද අතර, ජාතික මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්ම වෙත ද අප සංවිධානය විසින් නිර්දේශ ඉදිරිපත් කරන ලදී.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සමඟ අනු කමිටු සාමාජිකයෙකු ලෙස අප පුළුල්ව කටයුතු කර තිබේ. සිද්ධීන් පිළිබඳ ලේඛන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද අතර, සංක්‍රාන්ති සමජභාවී පුද්ගලයින් සඳහා ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහතික කිරීමේ ක්‍රියාවලියට උපදෙස් ලබා දීමටත්, ලිංගික දිශානතියස්ත්‍රී පුරුෂ සමජභාවී අනන්‍යතාවය සහ ප්‍රකාශනය පිළිබඳ දිවයින පුරා විසිරී සිටින මානව හිමිකම් කොමිෂන් සභා නිලධාරීන් සංවේදීකරණයටත් EQUAL GROUND කටයුතු කර තිබේ. ශ්‍රී ලංකාවේ නීති ආධාර කොමිෂන් සභාව සමඟ අපි සමීපව කටයුතු කළ අතර කාර්‍ය මණ්ඩල සාමාජිකයන් සමඟ සංවේදීකරණ වැඩසටහන් පැවැත්වීම, නීතිඥ පුහුණු කිරීම් සහ නීතිඥ සම්මන්ත්‍රණයන් පැවැත්වීම, සහ ග්‍රාමීය ප්‍රදේශවල LGBTIQ පුද්ගලයින්ට වඩා හොඳින් උපකාර කිරීම සඳහා නීතිඥ සාමූහිකයක් ආරම්භ කිරීමට කටයුතු කළෙමු.

EQUAL GROUND විසින් ප්‍රමුඛ පෙළේ නීතිඥයින්, රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන්ගෙන් සමන්විත උපදේශක මණ්ඩලයක් පිහිටුවා ඇති අතර පේරාදෙණිය මනෝවිද්‍යා දෙපාර්තමේන්තුව, කැළණිය මාධ්‍ය අධ්‍යයන අංශය සහ කොළඹ විශ්වවිද්‍යාල සමාජ විද්‍යා දෙපාර්තමේන්තුව සමඟ පුළුල්ව කටයුතු කර ඇත. එහිදී තරුණ කඳවුරු, සංවේදීකරණ වැඩමුළු පැවැත්වීම, ප්‍රලේඛන පුහුණුව, පොලිස් පුහුණුව, හෙද පුහුණුව ලබාදීම සහ මහනුවර ලිංගාශ්‍රිත රෝග සායනය සමඟ වසර 3 කට වැඩි කාලයක් කටයුතු කිරීම සිදු කෙරිණි. සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින් වෙනුවෙන් අපි ප්‍රමුඛ මනෝ විද්‍යාඥයින්, අන්තරාසර්ග විද්‍යාඥයින් සහ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන් සමඟ කටයුතු කර ඇත්තෙමු

EQUAL GROUND සහ නීතිමය කටයුතු

ශ්‍රී ලංකාවට එදිරිව රොසෑනා ෆ්ලේමර් කල්දේරා  

2018 දී EQUAL GROUND හි විධායක අධ්‍යක්‍ෂිකා Rosanna Flamer-Caldera, කැමැත්ත ඇති සමරිසි කාන්තාවන් අතර වන සබඳතා සාපරාධීකරණයට ලක් කරන ශ්‍රී ලංකාවේ වෙනස් කොට සැලකීමේ නීති අභියෝග කරමින් එක්සත් ජාතීන්ගේ කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කම් කිරීම් තුරන් කිරීමේ කමිටුව (CEDAW) වෙත, එවැනි ආකාරයේ පළමු නඩුව ගොනු කිරීමට මූලික වූවාය. ශ්‍රී ලංකා දණ්ඩ නීති, එනම් වගන්ති 365 සහ 365 ආ මගින් CEDAW යටතේ ආරක්‍ෂා කර ඇති මානව හිමිකම් කිහිපයක් උල්ලංඝණය කරන බව එම කමිටුව ඔවුන්ගේ තීරණයේදී, සොයා ගන්නා ලදී. මෙම සුවිශේෂී තීරණය 2022 පෙබරවාරි 21 දින සම්මත කරන ලද අතර, සමරිසි සහ ද්විරිසි කාන්තාවන් සාපරාධීකරණයට අදාළව තනි පුද්ගල පැමිණිල්ලක් කමිටුව විසින් සලකා බැලූ පළමු අවස්ථාව මෙය විය. එය ගෝලීය වශයෙන් වැදගත් සන්ධිස්ථානයක් වන අතර ඔවුන්ගේ තනි රටවල අපරාධකරණයට, ආන්තිකකරණයට සහ වෙනස් කොට සැලකීමට මුහුණ දෙන සියලුම සමරිසි කාන්තාවන්ට සහයක් වනු ඇත.

 2021 සැප්තැම්බර් මාසයේදී EQUAL GROUND විසින්, මානසික සෞඛ්‍ය උපදේශකයෙකු යැයි කියනු ලබන අයෙකු යොදවාගනිමින් පොලිස් පුහුණුව අතරතුර සමරිසි භීතිකාවෙන් යුත්,  වෙනස් කොට සැලකීමේ සහ ප්‍රකෝපකාරී කතා පැවැත්වීමට ඉඩ දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියට විරුද්ධව  අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කරන ලදී. මෙය​ එවැනි ආකාරයේ පළමු නීතිමය නඩුවකි. අනාගතයේදී LGBTIQ ගැටළු සම්බන්ධයෙන් කටයුතු කළ යුතු අයුරු පිළිබඳව මාර්ගෝපදේශ ඇතුළත් පුළුල් චක්‍රලේඛයක් සියලුම පොලිස් ස්ථාන වෙත නිකුත් කළ යුතු බවට සියලුම පාර්ශවයන් අධිකරණයේදී එකඟ විය. මෙම සුවිශේෂී ජයග්‍රහණයේ එක් එක් පියවරයන් තේරුම්ගන්න මෙම කාලරාමුව වෙත පිවිසෙන්න​.

2022 දී, ශ්‍රී ලංකාවේ LGBTIQ ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමේ අරමුණින් දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365ආ වගන්ති සංශෝධනය කිරීම සඳහා වූ පුද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. පසුව 2023 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේදී එහි ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරන ලද අතර EQAUL GROUND සහ​ තවත් කිහිප දෙනෙකු සමග පනත් කෙටුම්පතට සහාය දක්වමින් මැදිහත් පෙත්සම් ඉදිරිපත් කරන ලදී. මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ප්‍රකාශ කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට නිර්සාපරාධීකරණය සඳහා මඟපෙන්වීමක් ලබා දුන්නේය.