සමරිසිභීතිකා සහ වෙනස්කොට සැලකීමට එරෙහිව EQUAL GROUND ආයතනය සහ තවත් පෙත්සම්කරුවන් විසින් පොලීසිය සහ අමා දිසානායකට එරෙහිව ගොනු කල පෙත්සමට ‎අභියාචනාධිකරණයෙන් අවසර.

ශ්‍රී ලංකාවේ සමරිසි, ද්විරීසි, සංක්‍රාන්ති, අන්තර්ලින්ගික සහ ක්වියර ප්‍රජාවේ (LGBTIQ) අයිතීන් උල්ලංගණය වන සහ වෙනස්කොට සලකන දේශනයක් මහනුවර සහ මාතලේ පොලිස් නිලධාරීන් වෙත මහනුවර පොලිස් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමේ චෝදනා මත පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න, මහනුවර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් සහ පුහුණුකාරිනියක් සහ මනෝ උපදේශිකාවක් ලෙස පෙනීසිටින අමා දිසානායක යන අයට එරෙහිව ගොනු කල රිට් පෙත්සමට අභියාචනාධිකරණයෙන් දෙසැම්බර් අට වන, බදාදා අවසර ලබා දෙන ලදි.

පෙත්සමට අදාළ කරුණු දැක්වීමෙන් අනතුරුව, අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා සහ විනිසුරු ධම්මික ගනේපොල යන ද්වී-පුද්ගල විනිසුරු මඩුල්ල විසින් පෙත්සමට නඩුකර නිමිත්තක් ඇති බව ප්‍රකාශ කරමින් වගඋත්තරකරුවන් හට නොතීසි නිකුත් කිරීමට නියෝග කරන ලදි

EQUAL GROUND ආයතනයට සහය දක්වමින් අතරමැදි පෙත්සමක් LGBTIQ ප්‍රජාව ඇතුළු පාර්ශවකරුවන් තිදෙනෙක් විසින් ගොනුකරන ලද අතර, අධිකරණය විසින් ඔවුන් අතරමැදි වගඋත්තරකාර පෙත්සම්කරුවන් ලෙස පෙත්සමට එකතු කරන ලෙසට නියෝග කරන ලදි. LGBTIQ ප්‍රජාවේ  අයිතීන් උල්ලංගණය වන සහ වෙනස්කොට සැලකීමේ චෝදනා මත පොලීසිය අභියෝගයට ලක් කරමින් ආයතනයක් විසින් මෙවැනි ස්වභාවයේ නඩුවක් ශ්‍රී ලංකාවේ ගොනු කල පළමු අවස්ථාවයි

LGBTIQ ප්‍රජාව සම්බන්ධව ද්වේෂසහගත, සාවද්‍ය සහ වෙනස්කොට සලකන දේශනයක් පොලිස් නිලධාරීන් වෙත පැවැත්වීමට එරෙහිව, එවැනි දේශනා පැවැත්වීම වළක්වාලමින් (Prohibition) රිට් ආඥාවක් ලබා දෙන ලෙස අයැදිමින් ශ්‍රී ලංකාවේ LGBTIQ අයිතීන් වෙනුවෙන් ක්‍රියා කරන පැරණිතම ආයතනය වන EQUAL GROUND ආයතනය සමග තවත් පෙත්සම්කරුවන් විසින් අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කරන ලදි.

ශ්‍රී ලංකාවේ සමරිසි පුද්ගලයන් විසින් අනෙක් පුද්ගලයන්, විශේෂයෙන් යෞවනයන්, LGBTIQ ප්‍රජාවෙ අයෙකු බවට පත් කිරීමට ගොදුරු කරගන්නා බවත්, LGBTIQ වීම අස්වාභාවික බවත්, එම සම්බන්දතා මගින් වර්ගයා බෝ නොවන බැවින්, එය ජීව විද්‍යාත්මක සහ සමාජ සම්මතයන්ට පටහැනි බවත් 2021 ජූලි මස පැවැත්වූ දේශනයේදී අමා දිසානායක ප්‍රකාශ කර ඇත. තවද ඇය එම දේශනයට සහභාගී වූ නිලධාරීන්ට ශබ්ද නගා ඔවුන් එවැනි සමරිසි සම්බන්දතා වලට විරුද්ධ බව ප්‍රකාශ කරන ලෙසට ඉල්ලා සිටින ලදී.

ශ්‍රී ලංකාවේ LGBTIQ පුද්ගලයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන සහ ඔවුන් කොන් කිරීමට ලක් කරන මෙවැනි පුහුණු, දේශනා, වැඩමුළු හෝ වැඩසටහන් ශ්‍රී ලංකා පොලීසිය විසින් නැවත පැවැත්වීම වළක්වාලමින් (Prohibition) රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් විසින් ඉල්ලා ඇත. නීති ක්‍රියාත්මක කරන ආයතනය වන පොලිසිය විසින් මෙවැනි ක්‍රියා වලට අනුදැනුම සහ අවසර දීම තුලින් විවිධ ලිංගික දිශානතීන් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාව/ප්‍රකාශන සහිත පුද්ගලයන් භෙලා දැකීම, අමානුෂික ලෙස සැලකීම සහ පරිභව කිරීමට අනුබල දෙන අතර, එය ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ 12 වගන්තිය සහ මුලික මානව අයිතීන් වලට පටහැනි වේ.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන පෙනී සිටීයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න