කොළඹ අභිමානය 2021

2021 මැයි 25 වන දින කොළඹ, ශ්‍රී ලංකාව:

EQUAL GROUND ආයතනය මෙවර කොළඹ අභිමානය (COLOMBO PRIDE) 2021 උළෙල; Equite Sri Lanka, යාපනය සංක්‍රාන්ති සමාජභාවී ජාලය (JTN), ශ්‍රී ලංකා සංක්‍රාන්ති සමාජභාවී ජාලය (NTN), සත්ගුන පදනම (ගාල්ල), හා Queer Agenda Sri Lanka යන සංවිධානයන් සමඟ  එක්ව සංවිධානය කරයි.

මෙය EQUAL GROUND විසින් වාර්ෂිකව සංවිධානය කරන කොළඹ අභිමානය හි (COLOMBO PRIDE) 17 වන අදියර වේ.

දැනට පවතින අහිතකර තත්ත්වය හේතුවෙන් මෙම වසරේ සැමරුම් බොහෝ දුරට මාර්ගගත ක්‍රමයට සංවිධානය වන අතර ජුනි සහ ජූලි මාසවලදී පැවැත්වීමට නියමිතය.

මේ වසරේ තේමාව – බලය, ගෞරවය, ඇතුළත් වීම, විවිධත්වය, සමානාත්මතාවය’  (Power, Respect, Inclusion, Diversity, Equality’) මෙ මඟින් වර්තමානයේ රටේ පවතින බොහෝ සංකීර්ණතා මධ්‍යයේ වුවද ස්ථායිව සිටීමට වෙර දරන ශ්‍රී ලංකාවේ LGBTIQ ප්‍රජාවේ ශක්තීන් මූර්තිමත් කරයි.

කොළඹ අභිමානය (COLOMBO PRIDE) සැමවිටම කුවියර අනන්‍යතා සැමරීමක් වන අතර, සමරිසි ස්ත්‍රී, සමරිසි පුරුෂ, ද්වීරිසි, සංක්‍රාන්ති ලිංගික, අන්තර්ලිංගික, සහ ක්වීරර් / ප්‍රශ්නභාවි (LGBTIQ) ප්‍රජාවට සහ ලංකාවේ වෙසෙන එම ප්‍රජාවේ මිතුරන් හට තමන් කවුරුන්ද යන්න පිලිබඳ  ආඩම්බර වීමට දිරි ගන්වයි. කුවියර සංස්කෘතිය හා ජීවිත සැමරීමට එමඟින් ආරක්ෂිත අවකාශයක් ලබා දෙන අතරම සහයෝගය සහ සහෝදරත්වය පෝෂණය කරයි. මේ වසරේදී, ශ්‍රී ලංකාවේ නැගී එන සංවිධාන සහ රට පුරා  විසිරි සිටින කණ්ඩායම් සමඟ හවුල් වෙමින් කොළඹ අභිමානය (COLOMBO PRIDE) දිවයින පුරා LGBTIQ ප්‍රජාවට සාඩම්බරයෙන් නැගී සිටීමට දිරිමත් කරයි.

“ කොළඹ අභිමානය (COLOMBO PRIDE), කුවියර සංස්කෘතිය හා විවිධත්වය සැමරීම සඳහා රටපුරා ව්‍යාප්ත කිරීමට හැකිවීම ගැන මම ඉතා සතුටට පත්වෙනවා. මෙම දුෂ්කර කාලයේදී සැබෑ, නිර්ව්‍යාජ ලෙස පෙනීසිටීමට හා සැමරීමට අපට ආරක්ෂිත අවකාශයක් අවශ්‍ය වේ. අප සැවොම විශාල පවුලක සාමාජිකයන් වන අතර, මේ ආකාරයෙන්, අපගේ සියලු සහෝදර සහෝදරියන් සමඟ සැමරීමට අපි රට පුරා පැමිණෙන්නෙමු. ශ්‍රී ලංකාවේ පවතින නීති LGBTIQ ප්‍රජාවට හිතකර නොවන අතර, එකමුතුව කටයුතු කිරීමෙන් අපව අප ලෙසම පිළිගන්නා  සමාජයක් බිහි කිරීමට එය දායක වනු ඇත. අපගේ විවිධාකාර ලිංගික දිශානතියන් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවී අනන්‍යතාවන්ගෙන් සහ ප්‍රකාශනයන්ගෙන් වැළකී සිටිනවා වෙනුවට, අපට අවශ්‍ය වන්නේ මෙම වෙනස්කම් තුලින් ප්‍රීතිය සොයා ගැනීමටත්, අප අවට සිටින අයද එසේ කිරීමට පෙළඹවීමත් ය. ” (රොසෑනා ෆ්ලෙමර්-කල්දේරා, EQUAL GROUND).

“කොවිඩ් -19 මේ වසරේ අපේ ප්‍රජාවන් මුහුණ දෙන තවත් දුෂ්කර අභියෝගයක් බවට පත්ව තිබෙනවා. මේ වසරේ PRIDE සැමරීම යනු ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම සහ ප්‍රජාව නැවත සවිබල ගැන්වීමයි. වසංගත තත්වයෙන් පීඩාවට පත්වන අතරම අපගේ ප්‍රජා සාමාජිකයන් සමරිසි හා සංක්‍රාන්ති සමාජභාවී භීතිකාව මැඩපැවැත්වීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කරන බව අපි දනිමු. කොළඹ අභිමානය (COLOMBO PRIDE) 2021 සමඟ එක්ව දේශීය ප්‍රජාව ඔසවා තැබීම සඳහා JTN විසින් ක්‍රියාකාරකම් මාලාවක් දියත් කර ඇත.  මෑත වසරවලදී, උතුරේ LGBTIQ + දෘශ්‍යතාව සහ ක්‍රියාකාරිත්වය ඉහළ ගොස් ඇති නමුත් මෙම පරිමාණයේ සම්බන්ධීකරණ PRIDE සැමරුම් ප්‍රයත්නයක් අප තවම දැක නැත. සෑම පළාතක් තුළම සමානාත්මතාවය ළඟා කර ගැනීම සඳහා රට පුරා සහයෝගීතාවයේ ජාලය වර්ධනය කරගැනීම සහ හවුල්කාරිත්වය අතිශයින් වැදගත් ය! PRIDE 2021 සැමරීමේ ඒකාබද්ධ උත්සාහය බලාපොරොත්තු සහගත දිශාවකට ඉදිරි පියවරකි. මෙම ඒකාබද්ධ ප්‍රයත්නය තුළින් PRIDE මාසය සැමරීම ගැන  JTN සහ අපගේ ප්‍රජා සාමාජිකයින් ඉමහත් සතුටට පත්වේ! ප්‍රීතිමත්  PRIDE සැමරුම් උළෙලක්!! ” (Angel Queentus, Jaffna Transgender Network)

“Equite Sri Lanka ආයතනය මෙවර COLOMBO PRIDE සමග අත්වැල් බැදගන්නේ LGBTIQ ප්‍රජාව මුහුණදෙමින් සිටින අතිශය දුෂ්කර කාල පරිච්ඡේදයකදී එකමුතුව වැඩකිරීම හා පොදු අරමුණ වෙනුවෙන් සියලු දෙනාම පෙනී සිටීමේ වැදගත්කම අවබෝධ කරගනිමිනි. කෝවිඩ් වසංගතය නිසා විවිධ දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින අපගේ ප්‍රජාව සමග ඔවුන්ගේ අභිමානය මේ ආකාරයෙන් හෝ සැමරීමට ලැබීම ගැන අප සතුටු වන අතර, අයිතිවාසිකම් දිනාගැනීම සදහා අප විසින් කරනු ලබන විවිධ උත්සාහයන්ට මෙම එකමුතුකම  තවත් ආලෝකයක් එකතු කරනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි.  එකමුතුව, එකාවන්ව ශ්‍රී ලාංකික අපගේ අභිමානය සමරමු” – (Adhil Suraj , Equite Sri Lanka කණ්ඩායම)

පළමුවෙන්ම අපි EQUAL GROUND සංවිධානයට සහ මෙම සහයෝගිතාව සම්බන්ධීකරණය කළ සැමට ස්තූතිවන්ත වෙමු. LGBTQ + ප්‍රජාවට ආරක්ෂිත අවකාශයක් නිර්මාණය කිරීම සඳහා ක්‍රියාකාරීවකටයුතු කරන විශිෂ්ඨ සංවිධාන කිහිපයක් සමඟ අභිමානය සැමරීමට හැකිවීම අප ලද වරප්‍රසාදයක් ලෙස TheQueerAgendaSL හි අපට දැනේ.

කුවියර ප්‍රජාව ලෙස සැලකීමේදී, පුද්ගලයන් වශයෙන් අපවම සැමරීම වැදගත් යැයි අපි පෞද්ගලිකව විශ්වාස කරමු. නමුත් PRIDE මාසය යනු අපව පිඩාවට පත් කරන්නන්ට එරෙහිව නැගී සිටීමට ප්‍රජාවක් ලෙස එකට එක්වීමයි. වසංගත තත්වය හමුවේ  මුහුණට මුහුණලා සිදු කෙරෙන හමුවීම් හා උත්සව වලට සත්කාරකත්වය දැක්වීම / සහභාගී වීම සම්බන්ධයෙන් අභියෝග කිහිපයක් මතු වී ඇති අතර, මේ අනුව, මේ වසරත් මාර්ගගත ක්‍රමයට සැමරීමට සිදුව තිබේ. කෙසේ වෙතත්, මෙම සහයෝගිතාවය තුළින් අපගේ පණිවිඩය බැබළෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. අපි සිටින්නෙමු! අපගේ ප්‍රජාව පිළිබඳ හැඟීම ශක්තිමත් ය! “එක්වීම තුල විශාල ශක්තියක් ඇත,” සමාජ අසාධාරණයන් නොතකා වෙනසක් ඇති කිරීම සඳහා මෙම පැරණි කියමන සත්‍යයකි. ” (Queer Agenda Sri Lanka)

EQUAL GROUND යනු සමරිසි පුරුෂ, සමරිසි කාන්තා, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික, කුවියර  සහ අවිනිශ්චිත අනන්‍යතාවයන් සහිත (LGBTIQ) ප්‍රජාව සඳහා ආර්ථික, සමාජීය, සංස්කෘතික, සිවිල් සහ දේශපාලනික වශයෙන් සමාන අයිතිවාසිකම් දිනා දීම සඳහා ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාකාරීව සටන් කරන ලාභ අරමුණු කර නොගත්  සංවිධානයකි. සියළුම LGBTIQ පුද්ගලයන් හට ආරක්‍ෂිත පසුබිමක් සැකසීමට  ඇප කැපවී ක්‍රියාකරන අතර LGBTIQ ප්‍රජාව සඳහා මානසික යහපැවැත්ම, ආර්ථික, සමාජීය හා දේශපාලන සවිබල ගැන්වීම, සෞඛ්‍ය සේවා හා අධ්‍යාපනය ලබාගැනීම, නිවාස හා නෛතික ආරක්ෂාව ඇතුළු ස්වයං ආධාර ලබාගැනීම සඳහා අවස්ථාව  ලබා දීම වෙනුවෙන් ක්‍රියාකාරිව කටයුතු කරයි. EQUAL GROUND හි ඒකායන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ  වැඩිහිටියන් අතර සහමතියෙන් සිදු වන සමරිසි ලිංගික ක්‍රියා නිර්සාපරාධීකරණය කිරීමයි.

වැඩි විස්තර සඳහා media@equalgroundsrilanka.com වෙත පිවිසෙන්න. නැතිනම්  +94114 334 279 අමතන්න හෝ අපගේ වෙබ් අඩවිය වෙත  හෝ  Facebook, Twitter , Instagram සමාජ මාධ්‍ය ගිණුම්වෙත පිවිසෙන්න.

Équité Sri Lanka ආයතනය පර්යේෂණ, උපදේශන සහ සංවර්ධන / මානුෂීය වැඩසටහන් පිළිබඳ අත්දැකීම් සහිත විශේෂඥයින්ගෙන්  සැදුම්ලත් කණ්ඩායමකි. එය 2017 දී ලාභ නොලබන භාරයක් ලෙස පිහිටුවන ලද අතර එය ශ්‍රී ලංකාවේ උද්යෝගිමත් මානව හිමිකම් ක්‍රියාකාරීන් කණ්ඩායමක් විසින් ක්‍රියාත්මක වේ. අපගේ දැක්ම වන්නේ ශ්‍රී ලංකාවේ LGBTIQ ප්‍රජාව, කාන්තාවන් සහ තරුණයින් සඳහා ආන්තික බවෙන් තොරව සමානාත්මතාවය ළඟා කර ගැනීමයි.

ඇමතුම් : +94717033298

විද්‍යුත් තැපෑල: equitesrilanka2019@gmail.com

The Queer Agenda Sri Lanka , ශ්‍රී ලංකාවේ LGBTQ + අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා කැපවී ඇති මූල්‍ය ආධාරයෙන් තොරව ක්‍රියාත්මක වන ස්වේච්ඡා සේවය පදනම් කරගත් වැඩසටහනකි. අපගේ ආසන්නතම අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකාවේ සමරිසි ලිංගික ක්‍රියා නිර්සාපරාධීකරණය කිරීම සඳහා දායක වීමයි. ශ්‍රී ලංකාව තුළ ඇති SOGIESC ගැටළු පිළිබඳව විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබා ගැනීමටත්, කුවියර  සහ විෂමලිංගික පුද්ගලයන් දැනුවත් කිරීමටත් හැකියාව ඇති බැවින් තොරතුරු බෙදා හැරීම සඳහා අපි සමාජ මාධ්‍ය භාවිතා කරමු. එපමණක් නොව, ශ්‍රී ලංකාවේ LGBTQ + අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාකාරීව පෙනී සිටින කුවියර ප්‍රජාවේ සාමාජිකයින් ඉස්මතු කිරීමද අපගේ අරමුණකි. The Queer Agenda Sri Lanka යනු ශ්‍රී ලංකා සමාජයේ සෑම තරාතිරමකම සමානාත්මතාවය සහ පිළිගැනීම ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරන වැඩසටහනකි.

විද්‍යුත් තැපෑල – queeragendasl@gmail.com

Instagram – @thequeeragenda.sl

සහභාගී වන හවුල්කරුවන්:

ප්‍රතිචාරයක් ලබාදෙන්න