
සමරිසි භීතිකාව (Homophobia) සහ සමරිසි පුද්ගලයන් සම්බන්ධයෙන් සෘණාත්මක ආකල්ප දැරීම සමාජයට අලුත් දෙයක් නොවේ. කාලයත් සමඟ සමලිංගිකත්වය පිළිබඳ සමාජ ආකල්ප බොහෝ වෙනස් වී තිබේ. අද වන විට බොහෝ රටවල් LGBTIQ+ පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිගැනීමට සහ ඔවුන්ට සමාන අයිතිවාසිකම් ලබාදීමට පියවර ගෙන ඇත.
එසේ වුවද, අදටත් ඇතැම් පුද්ගලයන් සහ කණ්ඩායම් සමලිංගිකත්වය පිළිගත නොහැකි හෝ “අසාමාන්‍ය” දෙයක් ලෙස සලකති. මෙවැනි සෘණාත්මක ආකල්ප ඇතිවීමට ආගමික විශ්වාස, සංස්කෘතික සම්මතයන්, පවුලේ අපේක්ෂාවන්, සමාජයෙන් එල්ල වන පීඩනය සහ LGBTIQ+ පුද්ගලයන්ගේ අත්දැකීම් පිළිබඳ අවබෝධයක් නොමැති වීම වැනි විවිධ සාධක බලපෑ හැකිය.
එහෙත් මෙහිදී තවත් වැදගත් ප්‍රශ්නයක් මතු වේ. සමලිංගිකත්වයට එරෙහිව දැඩි ආකල්ප ඇතිවීමට බලපාන්නේ කුමක්ද? එවැනි ආකල්ප සෑම විටම සමාජ, සංස්කෘතික හෝ ආගමික විශ්වාස මත පමණක් පදනම් වන්නේද? නැතහොත් ඇතැම් අවස්ථාවලදී පුද්ගලයෙකුගේ අභ්‍යන්තර මනෝවිද්‍යාත්මක අත්දැකීම් ද ඒ සඳහා බලපානු ලබනවාද?
සමාජ පීඩනය සහ අභ්‍යන්තර ගැටුම
සමලිංගිකත්වය වැරදි දෙයක් ලෙස සලකන සමාජයක හෝ පවුල් පරිසරයක හැදී වැඩෙන පුද්ගලයෙකුට, තමන් තුළ සමලිංගික ආකර්ෂණයක් ඇති බව දැන ගැනීම ඔවුන් තුළ අභ්‍යන්තර ගැටුමක් ඇති කළ හැකිය. එක් පැත්තකින් ඔහුට හෝ ඇයට තමන්ගේ ම හැගීම් තිබේ. අනෙක් පැත්තෙන්, තමන් කුඩා කල සිට විශ්වාස කළ ආගමික, සමාජීය හෝ පවුල් පද්ධතීන් තුළ පැවතගෙන ආ අදහස් තිබේ. මේ දෙක එකිනෙකට ගැටීමකට ලක්වන විට, තමන්ගේම හැගීම් පිළිගැනීම එම පුද්ගලයාට අපහසු විය හැකිය.
උදාහරණයක් ලෙස, “සමලිංගිකත්වය වැරදියි” යන අදහස දැඩි ලෙස විශ්වාස කරන කෙනෙකුට තමන් තුළ සමලිංගික ආකර්ෂණයක් ඇති බව දැනෙන්නේ නම්, එම හැඟීම පිළිගැනීම වෙනුවට එය ප්‍රතික්ෂේප කිරීමට හෝ යටපත් කිරීමට උත්සාහ කළ හැකිය.
මනෝවිද්‍යාවේ දී මෙවැනි හැසිරීමක් “Reaction Formation” ලෙස හඳුන්වන සංකල්පයකින් පැහැදිලි කිරීමට උත්සාහ කර තිබේ. සරලව කිවහොත්, පුද්ගලයෙකුට තමන් තුළ පිළිගැනීමට අපහසු හැඟීමක් ඇති වූ විට, ඔහු හෝ ඇය එම හැඟීමට සම්පූර්ණයෙන්ම විරුද්ධ ආකාරයකින් හැසිරිය හැකිය.
ඒ අනුව, තමන් තුළ ඇති සමලිංගික ආකර්ෂණය පිළිගැනීමට නොහැකි පුද්ගලයෙකු එයට විරුද්ධව දැඩි ලෙස කතා කිරීම හෝ සමලිංගික පුද්ගලයන් කෙරෙහි දැඩි විරෝධයක් පෙන්වීම වැනි හැසිරීම් පෙන්විය හැකිද යන්න පර්යේෂකයන් විසින් අධ්‍යයනය කර තිබේ.
පර්යේෂණ තුළින් හෙළි වන්නේ කුමක් ද?
2012 වසරේ Journal of Personality and Social Psychology හි පළ වූ පර්යේෂණ අධ්‍යනයකදී, පර්යේෂකයන් පුද්ගලයන් තමන්ගේ ලිංගික අනන්‍යතාවය පිළිබඳව ප්‍රකාශ කරන දේ සහ ඔවුන් තුළ තිබිය හැකි සැඟවුණු ලිංගික ආකර්ෂණය අතර වෙනසක් තිබේද යන්න සොයා බැලීය. මෙම පර්යේෂණයට ජර්මනියේ සහ එක්සත් ජනපදයේ විශ්වවිද්‍යාල සිසුන් සම්බන්ධ කරගෙන අධ්‍යයන හතරක් සිදු කර තිබුණි.
පර්යේෂකයන් පුද්ගලයන් තමන් විෂමලිංගික බව ප්‍රකාශ කරන ආකාරය පමණක් නොව, ඔවුන්ගේ නොදැනුවත්ව පවතින ලිංගික ආකර්ෂණය මැන බැලීමටද විවිධ ක්‍රම භාවිත කළහ. එමෙන්ම ඔවුන්ගේ පවුල් පරිසරය සහ දෙමාපියන්ගේ හැසිරීම් පිළිබඳවත් විමසා තිබුණි.
එම අධ්‍යයන වලදී, තමන් විෂමලිංගික බව ප්‍රකාශ කළ නමුත් සැඟවුණු සමලිංගික ආකර්ෂණයක් පෙන්නුම් කළ පර්යේෂණයට සහභාගී වූ ඇතැම් පුද්ගලයන් අතර සමලිංගික පුද්ගලයන් කෙරෙහි වඩාත් සෘණාත්මක ආකල්ප සහ වෛරී හැසිරීම් දැකගත හැකි වූ බව පර්යේෂකයන් වාර්තා කරන ලදි. එමෙන්ම, දැඩි ලෙස පාලනය කරනු ලැබූ සහ සමලිංගිකත්වය පිළි නොගන්නා පවුල් පරිසරයක හැදී වැඩුණු පුද්ගලයන් තුළ තමන් ප්‍රකාශ කරන ලිංගික අනන්‍යතාවය සහ ඔවුන්ගේ සැඟවුණු ආකර්ෂණය අතර වැඩි පරතරයක් දක්නට ලැබුණු බවද ඔවුන් පෙන්වා දුන්හ.
Scientific American මෙම පර්යේෂණය පිළිබඳ වාර්තාවකදී පෙන්වා දෙන්නේ, තමන්ගේම ලිංගික ආකර්ෂණය පිළිබඳ අභ්‍යන්තර ගැටුමක් ඇති පුද්ගලයෙකුට වෙනත් සමරිසි පුද්ගලයන් තමන්ට තර්ජනයක් ලෙස දැනෙන්නටත්, එම නිසා ඔවුන් කෙරෙහි දැඩි විරෝධයක් පෙන්වන්නටත් හැකි බවයි.
නමුත් මෙය සෑම දෙනෙකුටම අදාළ වේද?
නැත. මෙය ඉතා වැදගත් කරුණකි. කිසියම් පුද්ගලයෙකු සමලිංගිකත්වයට විරුද්ධව කතා කරන පමණින් ඔහුට හෝ ඇයට සැඟවුණු සමලිංගික ආකර්ෂණයක් ඇති බව නිගමනය කළ නොහැකිය. එබැවින්, “සමරිසි භීතිකාවක් ඇති පුද්ගලයන් සියල්ලන්ම ඇත්ත වශයෙන්ම සැඟවුණු සමරිසි පුද්ගලයන්” යන සරල නිගමනයට පැමිණීම විද්‍යාත්මකව නිවැරදි නොවේ.
එසේ නම් අපට කුමක් තේරුම් ගත හැකිද?
පර්යේෂණවලින් පෙන්වා දෙන්නේ සමරිසි භීතිකාව ඇති වීමට බලපාන එක් නිශ්චිත හේතුවක් නොමැති බවයි. සමාජය, ආගම, සංස්කෘතිය, පවුලේ බලපෑම්, දේශපාලන අරමුණු සහ පුද්ගලයාගේම මනෝවිද්‍යාත්මක අත්දැකීම් වැනි විවිධ සාධක ඒ සඳහා බලපෑ හැකිය.
සමහර පුද්ගලයන් සඳහා, තමන්ගේම ලිංගික හැඟීම් සහ තමන්ට උගන්වා ඇති සමාජීය හෝ ආගමික විශ්වාස අතර ඇති ගැටුම, පරස්පර විරෝධී බව, එම පුද්ගලයා තුල සමරිසි භීතිකාවක් ඇති වීමට බලපාන ලද වැදගත් සාධකයක් විය හැකිය. නමුත් එය සමරිසි භීතිකාවට ඇති එකම පැහැදිලි කිරීම නොවේ.
අවසාන වශයෙන්, මෙම පර්යේෂණයන් අපට පෙන්වා දෙන්නේ, යම් පුද්ගලයෙකු සමලිංගිකත්වයට එරෙහිව වෛරයක් හෝ දැඩි විරෝධයක් දැක්වීම හුදෙක් ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික මතයක් ලෙස පමණක් නොව, එම පුද්ගලයා ජීවත් වන සමාජ පරිසරය, දේශපාලන පරිසරය පවුලේ බලපෑම්, විශ්වාසයන් සහ ඇතැම් විට තමන් තුළම පවතින අභ්‍යන්තර ගැටුම් ඇතුළු පුළුල් සාධක සමඟ සම්බන්ධව තේරුම් ගත යුතු බවයි.
