ලිංගික දිශානතිය, නාම-රූප සහ බෞද්ධ දෘෂ්ටිය

බොහෝ දෙනෙක් ලිංගික දිශානතිය පිළිබඳව විවිධ ආකාරයෙන් කතා කරනවා. නමුත් මේ පිළිබඳව භික්ෂුවගේ සංකල්පය ටිකක් වෙනස්ම ආකාරයක එකක්. 

ඒ සඳහා භික්ෂුව මුලින්ම යොමු වන්නේ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමේ මූලික හරයක් වන පටිච්චසමුප්පාදය වෙතයි.

නාම-රූපය සහ පටිච්චසමුප්පාදය

බුදුදහමේ පටිච්චසමුප්පාදය යනු දේවල් ස්වාධීනව හෝ ස්ථිර ආත්මයක් නිසා ඇති නොවී, හේතු සහ ප්‍රත්‍යයන් මත එකිනෙක සම්බන්ධව හටගන්නා ආකාරය පැහැදිලි කරන ධර්මතාවයි.

මෙහි විඤ්ඤාණය (viññāṇa) සහ නාම-රූපය (nāma-rūpa) අතර විශේෂ සම්බන්ධයක් දක්වා තිබෙනවා. විඤ්ඤාණය නාම-රූපයට ප්‍රත්‍යයක් වන අතර, නාම-රූපයද විඤ්ඤාණයට ප්‍රත්‍යයක් වන ආකාරය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. එය එකිනෙක ආශ්‍රය කරමින් පවතින අන්‍යෝන්‍ය ප්‍රත්‍යතාවක් ලෙස තේරුම් ගත හැකියි.

නාම-රූපය සරලව මානසික සහ ශාරීරික ක්‍රියාවලිය ලෙස තේරුම් ගත හැකියි.

රූපය යනු භෞතික පැත්තයි. එය පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතයන්ගෙන් විස්තර කෙරෙනවා.

නාමය යනු මානසික පැත්තයි. මෙහි වේදනා, සඤ්ඤා, චේතනා, ඵස්ස සහ මනසිකාර යන මානසික ක්‍රියාවලීන් ඇතුළත් වෙනවා.

ඒ අනුව, නාම-රූපය කියන්නේ “මම” යන ස්ථිර, වෙනස් නොවන ආත්මයක් නොවෙයි. එය හේතු-ප්‍රත්‍යයන් මත ක්‍රියාත්මක වන මානසික සහ ශාරීරික ක්‍රියාවලීන්ගේ එකතුවක්.

පටිච්චසමුප්පාදය තුළ විඤ්ඤාණය සහ නාම-රූපය පිළිබඳව අවබෝධ කරගත යුතු වැදගත්ම කරුණ වන්නේ:

“මෙය මමයි, මෙය මගේයි, මෙය මගේ ස්ථිර ස්වභාවයයි” කියා අල්ලාගත හැකි ස්වාධීන, ස්ථිර ආත්මයක් එහි නොමැති බවයි.

ඒ වෙනුවට, විඤ්ඤාණය සහ නාම-රූපය හේතු-ප්‍රත්‍යයන් මත එකිනෙක සම්බන්ධ වී ක්‍රියාත්මක වන ක්‍රියාවලියක් ලෙස දැකිය යුතුයි.

පටිච්චසමුප්පාදය තුළදී බුදුරජාණන් වහන්සේ නාම-රූප සහ විඤ්ඤාණය අතර ඇති අන්‍යෝන්‍ය ක්‍රියාකාරිත්වය පැහැදිලි කරනවා. විශේෂයෙන්ම, විඤ්ඤාණය සහ නාම-රූප එකිනෙක මත පවතිමින්, එකිනෙක උපකාර කරමින් පවතින ආකාරය ධර්මයේ විස්තර වෙනවා. මෙය අන්‍යෝන්‍ය ප්‍රත්‍යතාව ලෙස තේරුම් ගත හැකියි.

මෙහිදී ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරන කරුණක් සිහිපත් කළ හැකියි: විඤ්ඤාණය නාම-රූපය තුළ පිහිටීමෙන් නාම-රූපය ප්‍රකාශයට පත්වන අතර, විඤ්ඤාණය එහි පිහිටීමක් නොලැබුවහොත් නාම-රූපය එලෙස විකාශනය වන්නේ නැහැ. එබැවින් නාම-රූපය යනු ස්වාධීනව, තමන්ගේ කැමැත්තෙන් තෝරාගත් ස්ථිර දෙයක් නොවෙයි; එය හේතු-ප්‍රත්‍යයන් මත හටගන්නා ක්‍රියාවලියක්.

(උදාහරණයක් ලෙස මව් කළලයක නාම රූප පිහිටා ඇති අතර, එහි විඤ්ඤාණයක් පිහිටියේ නැතිවහොත් එම කළලය ස්වභාවිකවම ගබ්සා විය හැකියි)

එතකොට නාම-රූප ඇති තැනක විඤ්ඤාණය පිහිටීමත්, විඤ්ඤාණය පදනම් කරගෙන නාම-රූප ක්‍රියාත්මක වීමත් සරලවම කෙනෙකුගේ “මම කැමති විදිහට” සිදුවන දෙයක් නොවෙයි. මෙහි කර්මය, භවය සහ ප්‍රත්‍යයන් පිළිබඳ බෞද්ධ විග්‍රහය තිබෙනවා.

නාම රූප + විඤ්ඤාණ ප්‍රත්‍ය සහ සංක්‍රාන්තික සමාජ භාවය

සංක්‍රාන්තික පුද්ගලයන්ගේ අත්දැකීම් සම්බන්ධයෙන්ද මෙය සංවේදීව සිතා බැලිය යුතුයි. ඇතැම් පුද්ගලයෙකුට ජෙන්ඩර් ඩිස්ෆෝරියා නිසා තමන්ගේ ශරීරය තමන්ගේ අභ්‍යන්තර ලිංගික අනන්‍යතාවයට හෝ මානසික අත්දැකීමට නොගැළපෙන බවක් දැනෙන්න පුළුවන්. මෙය ඔහුගේ හෝ ඇයගේ කැමැත්තෙන් හිතාමතා තෝරාගත් සරල තීරණයක් ලෙස පමණක් දැකිය නොහැකියි.

කල්පනා කරලා බලන්න: විඤ්ඤාණය නාම-රූපයක් තුළ පිහිටීමෙන් ප්‍රකාශයට පත්වන ශරීරයට එක් ආකාරයක ලිංගික ලක්ෂණ තිබුණත්, එම විඤ්ඤාණයේ අභ්‍යන්තර අත්දැකීම කාන්තා අනන්‍යතාවයක් ලෙස ගොඩනැගී තිබියදී, එය පිරිමි ලිංගික ලක්ෂණ සහිත නාම-රූපයක් තුළ ප්‍රකාශයට පත්වුවහොත් කුමක් සිදුවේද? එවිට ඇතිවන අසමතුලිතතාවය සහ වේදනාව කෙතරම් ගැඹුරු විය හැකිද? මෙය හුදෙක් සමාජ විලාසිතාවක් හෝ අකමැත්තෙන් කරන තේරීමක් ලෙස බැහැර කිරීමට පෙර, එම පුද්ගලයාගේ අභ්‍යන්තර අත්දැකීම පිළිබඳව දර්ශනය පදනම් කරගෙන කරුණාවෙන් සිතා බැලිය යුතුයි.

ඒ නිසා කෙනෙක් “මගේ විඤ්ඤාණය මම කැමති ආකාරයට මේ නාම-රූපය තෝරාගෙන තිබෙනවා” කියලා සිතනවා නම්, බුදුදහමේ අනත්ම දෘෂ්ටිය තුළ එය එතරම් සරල කාරණාවක් නොවෙයි.

මෙහිදී වැදගත්ම කාරණාව තමයි අපගේ නාම-රූපය අපගේ සම්පූර්ණ පාලනය යටතේ පවතින දෙයක් නොවන බව තේරුම් ගැනීම.

ඔබ, මම, අපි හැමෝම කියන්නේ, විඤ්ඤාණය සහ නාම-රූප යන ක්‍රියාවලීන්ගේ ප්‍රතිඵලයක් ලෙස අත්දකින පුද්ගලික පැවැත්මක්.

එතකොට,

“අර කෙනාගේ නාම-රූප මෙහෙමයි.”

“මෙයාගේ නාම-රූප මෙහෙමයි.”

“මෙයා පිරිමියෙක් වුණත් ස්ත්‍රී ලක්ෂණ වැඩියි.”

“මෙයා ස්ත්‍රියක් වුණත් පිරිමි ලක්ෂණ තිබෙනවා.”

“මෙයා සමලිංගිකයි.”

“මෙයා විෂමලිංගිකයි.”

“මෙයා සංක්‍රාන්ති ලිංගික පුද්ගලයෙක්.”

ආදී වශයෙන් අපි විවිධ පුද්ගල ස්වභාවයන් දකිනවා.

මේ සියල්ල පිළිබඳව බෞද්ධ දෘෂ්ටියෙන් කතා කරන විට, අපි ඉතා පරිස්සම් විය යුතුයි. මන්ද, “මේ පුද්ගලයා මෙහෙමයි” කියලා ස්ථිර, වෙනස් නොවන, ස්වාධීන “මමෙක්” ලෙස ඔහුව හෝ ඇයව අල්ලා ගැනීම බුදුදහමේ අනත්ම දෘෂ්ටියට පටහැනි වෙනවා.

යම් පුද්ගලයෙකුගේ ලිංගික දිශානතිය හෝ ලිංගික අනන්‍යතාවය ඔහුගේ හෝ ඇයගේ සම්පූර්ණ පුද්ගලත්වය බවට පත් කරලා, ඒ මත පදනම්ව පුද්ගලයාව විනිශ්චය කිරීම බෞද්ධ දෘෂ්ටියෙන් නැවත සිතා බැලිය යුතු කාරණාවක්.

පව්කාරයාට ගල්ගැසීම බුදු දහමේ හරය නොවේ

“කර්මය නිසා මෙහෙම වුණා” කියලා පව්කාරයෙක් කරන්න පුළුවන්ද?

මෙතැනදී තවත් ඉතා වැදගත් කාරණාවක් තියෙනවා.

කෙනෙක්ගේ ලිංගික දිශානතිය හෝ ලිංගික අනන්‍යතාවය පිළිබඳව “ඒක ඔහුගේ පසුගිය ජීවිතයේ කළ පවක් නිසා” කියලා නිශ්චිතව ප්‍රකාශ කරන්න අපට පුළුවන්ද?

මෙය ඉතා බරපතළ ප්‍රශ්නයක්.

කර්මය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම පාවිච්චි කරලා, කෙනෙකුට “පව්කාරයා” කියලා හංවඩු ගැසීම බුදුදහමේ හරය නොවෙයි. විශේෂයෙන්ම මෙම සංකල්පය එන්නේ එන්නේ ඒක දේවවාදී ආගම්වලයි…

කෙනෙකුගේ ජීවිතයේ යම් අකුසල කර්ම විපාකයක් තිබෙනවා කියලා අපි උපකල්පනය කළත්, ඒ හේතුවෙන් ඒ පුද්ගලයාම “පව්කාරයෙක්” ලෙස ස්ථිර ලේබලයකට දාන්න බැහැ.

බුදුදහම තුළ කර්මය කියන්නේ කෙනෙකුගේ ස්ථිර අනන්‍යතාවයක් නොවෙයි.

“ඔහු පව්කාරයෙක්.”

“ඇය පව්කාරියක්.”

කියලා මනුෂ්‍යයාවම ලේබල් කරනවාට වඩා, බුදුදහම අපට පෙන්වන්නේ ක්‍රියාව, චේතනාව, හේතුව සහ ප්‍රතිඵලය පිළිබඳව අවබෝධ කරගන්නා මාර්ගයක්.

එහෙත් මෙහිදී තවත් ගැඹුරු ප්‍රශ්නයක් අහන්න ඕනේ. පෙර ජීවිතයක ඔබ එසේ නොවූ කෙනෙක් ලෙස, ඔබට අද පාරිශුද්ධභාවය පෙන්විය හැකිද? මතු එලෙස නොවෙයි කියා ඔබට ගැරන්ටියක් දෙන්න පුළුවන්ද? ඒ සඳහා අවම වශයෙන් ඔබ ධම්මානුසාරී විය යුතුයි. නමුත් ධම්මානුසාරී වූ පුද්ගලයා ආත්මවාදයෙන් මිදෙනවා. වැදගත්ම දේ වන්නේ, ඔබ ඔබ වූයේ ඔබේම මතයකින් නොවන බවයි. ඒ නිසා මේ මොහොතේ ඔබේ විඤ්ඤාණය බැසගෙන සිටින, ඔබ පවත්වාගෙන යන චරිතය හෙට දිනයේ වෙනස් චරිතයක් විය හැකියි. එය අවබෝධ කළ තැන ඔබට සෝතාපන්න විය හැකියි. අනික, බුදුදහමේ දෘෂ්ටිය තුළ ස්ථිර පව්කාරයෙක් නැහැ.

ඒ නිසා සමලිංගික පුද්ගලයෙකු, විෂමලිංගික පුද්ගලයෙකු, ද්විලිංගික පුද්ගලයෙකු හෝ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයෙකු “පව්කාරයෙක්” ලෙස හංවඩු ගැසීමට කර්මය භාවිතා කිරීම ඉතාමත් ප්‍රවේශමෙන් සිතා බැලිය යුතු දෙයක්.

එහෙනම් මේ තර්කය අනෙක් අයටත් යෙදිය යුතු නැද්ද?

අපි කියනවා නම්,

“මෙයාගේ මේ ස්වභාවය පසුගිය කර්මයක් නිසා ඇතිවුණා”

කියලා, එම තර්කය සමාජයේ වෙනත් සියලුම වෙනස්කම්වලටත් එකසේ යෙදිය යුතු වෙනවා.

දුප්පත් මනුෂ්‍යයෙක් දුප්පත් වුණේ පසුගිය ජීවිතයේ පව් කළ නිසාද?

කුලයෙන් පහළ යැයි සමාජය හඳුන්වන පුද්ගලයෙක් එම තත්ත්වයට පත්වුණේ පසුගිය ජීවිතයේ පව් කළ නිසාද?

ශාරීරික ආබාධයක් සහිත පුද්ගලයෙක් එම ආබාධය ලැබුවේ ඔහු කළ පව් නිසාද?

විවිධ හැකියාවන් සහ අවශ්‍යතා සහිත පුද්ගලයන් සියලු දෙනා ගැනත් අපි එහෙම කියනවාද?

නැහැ.

එතකොට මානසික හෝ ශාරීරික වෙනස්කම් ඇති මිනිසුන් දෙස අපි කරුණාවෙන් සහ සහකම්පනයෙන් බලනවා නම්, ලිංගික දිශානතිය හෝ ලිංගික අනන්‍යතාවය වෙනස් පුද්ගලයෙකු දෙසත් ඒ ආකාරයෙන්ම බලන්න බැරි ඇයි?

බෞද්ධයාගේ කරුණාව කොතැනද?

මෙතැනදී මම ප්‍රශ්නයක් අහනවා.

බෞද්ධයෙක් කියලා හඳුන්වාගන්නා අපගේ කරුණාව කොතැනද?

අපගේ සහකම්පනය කොතැනද?

බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යයෙකුගේ වටිනාකම ඔහුගේ උපත, කුලය, ශරීරය හෝ සමාජ ලේබලය මත තීරණය කළේ නැහැ.

ඒ නිසා අපිත් කෙනෙකුගේ ලිංගික දිශානතියක් හෝ ලිංගික අනන්‍යතාවයක් පදනම් කරගෙන ඔහුව හෝ ඇයව පහත් කරලා, “පව්කාරයා” කියලා හංවඩු ගහනවා නම්, අපි ඇත්තටම කරන්නේ බුදුදහමේ අනත්ම, කරුණා සහ අවිහිංසක දෘෂ්ටිය සමඟ ගැලපෙන දෙයක්ද කියලා අපි අපෙන්ම අහන්න ඕනේ.

කෙනෙකුගේ කර්මය ගැන අපිට සම්පූර්ණයෙන්ම දැනගන්න බැහැ.

කෙනෙකුගේ පසුගිය භවයන් ගැන අපිට නිශ්චිතව කියන්න බැහැ.

ඒ නිසා “ඔයා මෙහෙම වෙලා ඉන්නේ පසුගිය ජීවිතයේ මේ පව කළ නිසා” කියලා කෙනෙකුට චෝදනා කිරීම, බුදුදහමේ නාමයෙන් කරන ඉතාමත් බරපතළ ප්‍රකාශයක්.

වෙනස්කම දකින්න. නමුත් මනුෂ්‍යයාව හංවඩු නොගසන්න.

ලිංගික දිශානතිය පිළිබඳව බෞද්ධ දෘෂ්ටියෙන් සාකච්ඡා කරන විට, විනය, කාමච්ඡන්දය, කාමසුඛය, චේතනාව, සම්බන්ධතා සහ කර්මය පිළිබඳව වෙනම සාකච්ඡාවක් කළ හැකියි.

නමුත් ඒවා වෙනම කාරණා.

පුද්ගලයෙකුගේ ලිංගික දිශානතිය = ඔහුගේ සම්පූර්ණ නৈতিক වටිනාකම කියලා සමාන කිරීම වෙනම කාරණාවක්.

මෙය දෙකක් එකක් කර නොගත යුතුයි.

බුදුදහම අපට ඉගැන්වන්නේ දේවල් හේතු-ප්‍රත්‍යයන් මත හටගන්නා ආකාරය දැකීමටයි. ඒවාට “මම”, “මගේ”, “මම මෙහෙමයි” කියලා ස්ථිර ආත්මයක් පටවන්න නොවෙයි.

එහෙම නම්, අද අපි සමාජයේ කෙනෙකුට “පව්කාරයා” කියලා හංවඩු ගහන්න කලින්, ඔහුගේ හෝ ඇයගේ ජීවිතය ගැන අපි ඇත්තටම කොපමණ දන්නවාද කියලා සිතා බලමු.

කෙනෙකුගේ කර්මය අපි දන්නේ නැහැ.

කෙනෙකුගේ අතීතය අපි දන්නේ නැහැ.

කෙනෙකුගේ අභ්‍යන්තර වේදනාව අපි දන්නේ නැහැ.

ඒ නිසා වෙනස්කම දකින්න. නමුත් වෙනස්කම මත මනුෂ්‍යයාව හංවඩු නොගසන්න.

අවසානයේ මගේ ඉල්ලීම

ඊළඟ වතාවේ ඔබ යම් පුද්ගලයෙකු කොන් කරන්න කලින්, වෙනස් කොට සලකන්න කලින්, ඔහුගේ හෝ ඇයගේ ලිංගික දිශානතිය නිසා ඔහුව හෝ ඇයව පහත් කරන්න කලින්, මොහොතක් නවතින්න.

“මම මේ කරන්නේ බුදුදහමේ කරුණාව තුළින්ද? නැත්නම් මගේම සමාජ ලේබල් එකක් බුදුදහමට පටවලාද?”

කියලා ඔබගෙන්ම අහන්න.

Stigma කරන්න කලින් සිතන්න.

Discrimination කරන්න කලින් සිතන්න.

කෙනෙකුට “පව්කාරයා” කියලා හංවඩු ගහන්න කලින් සිතන්න.

මොකද බුදුදහම අපට මතක් කරන්නේ,

“මේ මමයි, මේ මගේ, මේ මගේ ස්ථිර ස්වභාවයයි”

කියන අල්ලාගැනීමෙන් මිදෙන්නයි.

එහෙම නම්, අනෙක් මනුෂ්‍යයා දෙසත් අපි බලන්නේ අල්ලාගැනීමෙන් නොව, අවබෝධයෙන්; විනිශ්චයෙන් නොව, කරුණාවෙන්.

පැවිදි සහෝදර (Tan Pi) බෝධිචිත්ත භික්ෂු

ප්‍රතිචාරයක් ලබාදෙන්න